මරණය දැක දැකත් ගුවනට නැගුණු නියමුවා.
වසර 30ක් පුරාවට මුලු ලංකාද්වීපයම බියෙන් ත්‍රස්ත කළ එල්ටීටීඊ කොටි ත්‍රස්ත සංවිධානයෙන් රට මුදවා ගැනීමේ මානුෂීය මෙහෙයුමේදී රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවෝ බොහෝ වෙති. මේ ලිපිය එබඳු සුවිශේෂී රණවිරුවෙකු සම්බන්ධයෙනි. ඒ 1995 වර්ෂයේදී රට එනුවෙන් දිවි පිදූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බලගණ නායක සුජීව පතිරත්නයි.
ඔහු තමාගේ මරණය කල්තියා දුටු පුද්ගලයෙකි. තමාගේ පමණක් ඔව තවත් කිහිප දෙනෙකුගේද මරණයන් කල් තියා දුටුවද නියෝගයන්ට අවනත වනු හැරෙන්නට කළහැකි දෙයක් ඔහුට නොවීය. උතුරේ සිට වසර 10කට වැඩි කාලයක් යුද්ධයෙන් මියයන අයගේ මළසිරුරුද දැඩි ලෙස අනතුරට ලක්වූවන්ද ගුවන් මගින් ගෙන ඒමේ පළපුරුද්ද තිබූ සුජීව පැදවූ ගුවන් යානයේදී මියගිය එක් තැනැත්තෙක් වන්නේ ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවයි.
1995 වර්ෂයේ අප්‍රේල් 29 වන දින රත්මලානේ සිට පලාලි බලා යාමට යානය පැදවීමට පෙර රාත්‍රියම ඔහු ගතකළේ නිදිවර්ජිතවය. පෙර දිනයේදී මෙලෙස ගමන් කළ ඇව්රෝ යානය ත්‍රස්තවාදීන් විසින් ගුවන් යානා නාශක මිසයිල ආධාරයෙන් බිමහෙලා තිබුණු පසුබිමක තමන් සියදිවි නසා ගන්නා මෙහෙයුමක නිරත වන බව ඔහු හොඳාකාරවම දැන සිටියේය. නමුත් ගුවන් නියමුවෙකුගේ බසට සවන් දෙන්නෝ කවරහුද . එනිසා මේ අමු අමුවේ සිය දිවි නසා ගන්නා රාජකාරියේ නිරත වනු හැරෙන්නට ඔහුට විකල්ප නොවීය.
1995 අප්‍රේල් මාසයේදී සුජීව පතිරත්න පැදවූ යානයට කොටි මිසයිල ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ඔහු සමග ගෘප් කපිතාන් ශිරන්ත ගුණතිලක හා පෙර දින ඇව්රෝ යානය පිපිරීමට හේතු සෙවීම සඳහා පලාලි දක්වා යමින් සිටි යුධ හා ගුවන් හමුදා නිලධාරීන් කණඩායමක්ද විය. ඊට අමතරව ලේක්හවුස් ආයතනයේ මාධ්‍යවේදීන් තිදෙනෙකුද මේ අනතුරින් ජිවිතක්ෂයට පත් විය. යුද්ධයත් මනුෂ්‍ය ඝාතනයත් එක හෙලාම ප්‍රතික්ෂේප කළ සුජීවගෙන් ලැබුණු අවසාන පණිවිඩය වී ඇත්තේ " අප මිසයිල ප්‍රහාරයකට අසුවෙලා" යන්නයි.
විවාහ ජීවිතයට එලඹීමට මාසයක් පමණක් ඉතිරිව තිබියදී රට වෙනුවෙන් දිවි පුද කල ඒ වීරෝධාර ලංකා පුත්‍රයාව වසර විසි හතරකට පසුව වුවත් සාඩම්බරයෙන් සිහි කරන්නෙමු.
මාණික්‍ය සේ පොළෝගැබේ නිධාන වී
ඇත්තෙ ඒ අභීත දූ පුතුන්
ජාතියේ නාමයෙන් - සංග්‍රාම භූමියේ
ජීවිතේ පුදා හෙලූ - ලේ කඳයි.
මූලාශ්‍රය :- ආනන්ද විජයවීර 1996 නොවැම්බර් මස දී සිව්දෙසට ලියූ ලිපියක් අනුසාරයෙනි.
